BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » සාමාන්‍ය » ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ වරුනා

ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ වරුනා

පෙබරවාරි 4, 2025 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

කෙසේද මා එය කරන්නේ ? කෙසේද මා එය කරන්නේ? ” රැළි නැඟුණ නළලත පිරිමදිමින් හෙතෙම සක්මනේ යෙදෙන්නේ ය. වෙනදා තේජෝබල පරාක්‍රමයෙන් පිරී ගිය ඒ වුවනතෙහි අද ඇත්තේ මහත් සංකාවකි, සන්තාපයෙකි, “අහෝ…! කෙසේද මා එය කරන්නේ ? “
වරින් වර නඟන මේ පැණයට පිළිතුරු දෙන්නෙක් එහි නොවී. සොළොස් මහා ජනපදයන් දිනා දඹදිව ඒකඡත්‍ර කොට අබිසෙස් ලද අශෝක නිරිඳුන්ගේ මුවින් නිබඳ පිටවනා පැණයෙකි මේ… රාජරාජ මහාමාත්‍යාදී සියල්ලෝ එහිම වු. එහෙත් කිසිවෙක් කිසිවක් නොතෙපළත් , බිතු සිතුවම් රූ වැනිව ගොළුවී හිඳිත්, ඒ නිහඬ බව යළි බිඳ දමන්නේ රජුගේම මන්දස්වරයයි. මහාධිරාජයෙකු වුවද ඔහුද මුමුණනවා පමණි.

” මා සුමිතුරු දෙවන පියතිස්සයන් හට මාගේ අති මිත්‍ර ස්නේහය පමණ කළ නොහැක්කෙකි , ප්‍රිය ඇමතිවරුනි , ජිනේන්ද්‍ර ශාසනය හෙළදිව්හි පිහිටුවන්නට අමෘතය ගෙන වඩින්නයයි මා පුත් මහේන්ද්‍රයන් වහන්සේට මා අනුබල දුන්නේ එනිසාවෙන්… මනකල්ය ඒ හෙළදිව…උන්වහන්සේ එහි සසුන්කෙත පිහිටුවා අවසනය අප වෙත හසුන් එව්වේ…”

රජුගේ වතෙහි මොහොතින් ඇකී මැකී ගියේ මඳ සිනාවෙකි. “හෙළදිව්හි කුලකතුනටද ඒ අරහත් ධජය සැපතක්මයි සිතී අප දියණි සඟමිත් තොමෝ එහි සපැමිණෙන තුරු බලා හිඳින්නේලු..”
රජු මේ පවසන්නේ මෙහි රැඳී සිටින රාජකීයයන් නො දන්නා කථාවෙක් නොවේ. අරිට්ඨ ඇමතියන් ප්‍රමුඛ හෙළදිව දුතයන්ගේ ආගමනයට හේතුව ඔවුහු දන්නෝමය.

” ප්‍රිය ඇමතිවරුනි, ශාසනය බන්ධු වු මා හට ඕ තොමෝ එහි යවන්නට පැකිලීමෙක් නොවේ. සංඝමිත්තා තෙරණියෝද එහි යෑම රුචි කරන්නීය. දරුවන්ගෙන් වෙන්වීම සෑම පියෙකුටම මෙන්ම මටද දුකක්ම වුවත් තථාගත සසුනට කළ යුතු මෙහෙවර වෙනුවෙන් ඒ දුක උහුලා සිටින්නට මම වඩාත් කැමැත්තෙමී.”

අමාත්‍යවරු සිරසින් නැමී ගෞරව කළහ. ශාසන හිතකාමි ස්වාමියා ගැන ඔවුන් සිත්හි ඇත්තේද අභිමානයෙකි; ගෞරවයෙකි.
“එහෙත්….තථාගතයන් වහන්සේ වසවත් මරුන් පරදවාලු මොහොතේ සෙවණ සලසාලු ඇසතු බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව… අහෝ…! මා කෙසේද එය සිඳින්නේ ? මා කෙසේද එය කරන්නේ? ” වෙව්ලන සුලුවු හැඬුම්බර ඒ වදන් අබිමුව සියල්ලම යළිත් ගල් ගැසුණු අයුරෙකි. දෑත් එක්කර වැඳගත් රජු ආයාසයෙන් වදන් ගොනු කර ගනී.

ඒ සම්බුදු සමිඳුන් සරණ ගිය කල පටන් ආයුධ නො නැඟු අත් ඇතිව හුන්නෙමි මම. දිග්විජය දම්විජය කළෙමි මම. එහෙව් මා…කෙලෙසද දිවමන් සම්බුදු රජුන් වන් මහා බෝධින් වහන්සේට ආයුධ නඟන්නේ? කෙලෙසද ඒ දක්ෂිණ ශාඛා වහන්සේ සිඳින්නේ? ලෙයින් උපන් දරුවන් හෙළදිවට යවන්නට හැකි වුවද නො හැක්කේමය මට මෙය… හද දැදුරු වන්නාක් වැනිය. අහෝ…! කෙසේද මා බෝධි ශාඛාව වෙන්කර හෙළදිව කරා යවන්නට සිත් සදා ගන්නේ? නොහැක්කේමය. නො හැක්කේමය…

කථා කළ යුතු මොහොත මෙය බව මහාදේව අමාත්‍යවරයා හඳුනා ගති. මන්දස්වරයෙන්, එහෙත් පැහැදිලිව ඇසෙන පරිදි තෙපළේය ඔහු මෙවදන්.

“අවසර මහරජතුමනි, ශාසන බන්ධු වු ඔබ වහන්සේ සියල් ශාසන කෘත්‍යයන් ඉටු කළේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විමසාමය. දැනුදු කළ යුත්තේ එයම යයි යන්න අපගේද අදහසයි. ඔබ වහන්සේ ශෝක නො කරත්වා! අපගේ පරම කල්‍යාණමිත්‍ර වු මොග්ගලීපුත්ත තිස්ස ආර්යයන් වහන්සේ විචාරා සියල් සැක සංකා දුරු කරගනිත්වා! “

අශෝක අධිරාජයාගේ මාළිගයේ සංඝයා වහන්සේ විෂයෙහි දන් පිරිනමා අවසන්ය. අධිරාජයාණන් මොග්ගලීපුත්ත තිස්සයන් වහන්සේට එකත්පස්ව හිඳගති.

” ස්වාමීනී, හෙළදිව්හි ගෝතම ශාක්‍ය ශාසනය පිහිටුවිණි. ධර්මයේ හැසිරීම රුචි වු එදිවෙහි කුලකතුනගේ පැවිද්ද උදෙසා සංඝමිත්තාවන් එහි වැඩම කරවන්න යයි මට හසුන් එවීය. පුර්වයේ තුන්බුදුවරයන් වහන්සේලා සේවනය කළ උතුම් බෝධි වෘක්ෂයන්ගේ දක්ෂිණ ශාඛාවන්ගෙන් හිස් නොවු එහිම අප මහා බෝධියේ දක්ෂිණ ශාඛා වහන්සේද බන්ධු වු හථාගතයන් වහන්සේද රෝපණය කළයුතු යයි ඔවුහු කියත්. ස්වාමීනී, බෝධින් වහන්සේගෙන් වෙන්වීමක් මට කළ නොහැක්කේය. අප කෙරෙහි පරම හිතෛෂී වු ඔබ වහන්සේම කළ යුත්ත පෙන්වා දෙන සේක්වා! “

පරිනිර්වාණ මංචකයේදී ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේ කළ අධිෂ්ඨාන පහ

  1. පින්වත් මහරජ, අප දක්ෂිණ බෝධි ශාඛාව හෙළදිවට යැවිය යුතුමය. ලෝ සුවය සලසා පරිනිර්වාණ මංචකයේ වැදහොත් මොහොතේ අපගේ සර්වඥයන් වහන්සේ අධිෂ්ඨාන පසෙක් කොට වදාළ සේක්මයි. හෙළදිව්හි රෝපණය පිණිස බෝධි ශාඛාව ගැනීමට අශෝක අධිරාජයා එළැඹුණු කල්හි බෝධි ශාඛාව තමන්ම සිඳී රන් කටාහයෙහි පිහිටාවා! යන්න පළමු වැන්න ය.
  2. බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිමවලා ගැබක් අතරට වැද සිටීවා! යන්න දෙවැන්නය.
  3. දින සතෙකින් නැවත රන් කටාහයෙහි පිහිටි කෙණෙහි පත්‍රයන්ගෙන්, ඵලයන්ගෙන් ෂඩ්වර්-ණ සම්බුද්ධ රශ්මීන් විහිදේවා! යන්න තෙවැන්නය.
  4. දෙවන පෑතිස් රජුන් ලක්දිව් ථුපාරාම සෑය කරවා දකුණු අකු ධාතුන් වහන්සේ පිහිටන කල්හි, යමාමහා ප්‍රාතිහාර්ය කෙරේවා! යන්න සතරවැන්න.
  5. ලක්දිව ඉදිවන මහා සෑයෙහි ද්‍රෝණයක් වු සම්බුද්ධ ධාතුන් පිහිටන කල්හි බුද්ධ වේශය ගෙන අහසට පැන නැඟී යමාමහා පෙළහර කෙරේවා! පස්වැන්නය.

ඒ ගැන විමති රහිත වෙත්වා! මහරජ, බෝධි ශාඛාව එහි පිහිටුවිය යුතු බැව් බුද්ධානුශාසනාවයි. අපි එපරිද්දෙන්ම කළ යුත්තෝ වන්නෙමු.

නේරංජනා නදී තෙර වෙත පැමිණෙනා මහා ජන ගඟෙකි. දහස් ගණනින් රහතන් වහන්සේලාය. දහස් ගණනින් අභිෂේක ලද රජ දරුවන්ය. අප්‍රමාණ ජන සමුහයක්ය ඒ. බෝධීන් වහන්සේ තිරයකින් වට කරවාලු අශෝක නරනිඳුන් ඇඳිලි බැඳගෙන ඒ දෙස බැලීය. දක්ෂිණ ශාඛා වහන්සේ සම්බන්ධ වු සතර රියනක පමණ පෙදෙස හැර අන් ශාඛාවෝ සියල්ල එකෙණෙහිම නො පෙනී ගියෝය. මේ බැව් දුටු අශෝක නරනිඳුන් මහත්සේ තුටු පහටු වුයේ, දඹදිව් තලයෙන් පුදා බෝ රජුන් අභිෂේක කරවිය. ඉනික්බිති සුගන්ධ ධුපයෙන් පුදා තුන් වරක්ම බෝධීන් වහන්සේව පැදකුණු කොට අට තැනෙක හිඳ ඇඳිලි බැඳ වන්දනා කොට නමස්කාර කළේය.

දක්ෂිණ බෝධි ශාඛාව දක්වා උස් වු ස්වර්-ණමය ආසනයෙක ස්වර්-ණමය කටාහය තැබ්බ විණ. මැණික් අසුනෙක නැඟී රන් තෙලි කූරක් අතින් ගත් රජ තෙමේ ශාඛායෙහි රේඛාවක් ඇඳීය. ඉනික්බිති පසෙක හිඳ සත්‍යය ක්‍රියා කළේය.

“සුගත තථාගත අප මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධත්වයට පත්වු පරමෝත්තම මොහොතේ සෙවණ සලසාලු මේ උත්තම බෝධින් වහන්සේගේ දක්ෂිණ බෝධි ශාඛාවෝ හෙළදිවට වැඩම කරවිය යුත්තේම නම්….ඒ සම්බුදු සසුන දිනා ධර්මාශෝක නම් වු මා සර්වඥ ශාසනයෙහි විමති රහිත වුයේ නම්.. මේ දක්ෂිණ බෝධි ශාඛාවෝ තොමෝම සිඳී රන් කටාහයෙහි පිහිටාවා! “

ඒ බෝධි ශාඛා තොමෝ යායුතු වීය හෙළදිව්… ඒ දම්සෝ නිරිඳු තෙමේද විමති රහිත වුයේය සසුනෙහි… තමාම සිඳුණු දක්ෂිණ බෝධි ශාඛාවෝ පිහිටියේය රන් කටාහයෙහි…

නේරංජරාව අසබඩ සාදු නාදයෙන් , ප්‍රීති ඝෝෂායෙන් ඇළලී ගියේය. අඟල් තුනෙන් තුනට ලකුණු කළ රේඛායෙන් පැණ නැඟුණු මුල් කටාහයෙහි පිහිටි සැණින් මහීකාන්තාවද කම්පා විණ. දෙව්, බඹ, මිනිස් කැල සැදැහැයෙන් නැඟු සාදු නාදයෙන් සකල දඹදිවමැ පිරී ගත්තේය.

ඒ බෝධි ශාඛාවෙහි කුඩා ශාඛා පහකි, ඵලද පහකි, කුඩා රිකිලිද ඇත්තේය. ඒ බෝධි වෘක්ෂයෙහි ඵල පත් ආදියෙන් ඉක්ම ගත් ෂඩ්වර්-ණ් රශ්මියෙන් සක්වළ එළි විහිද ගියේය. එසේ පෙළහර පෑ ඒ බෝධි ශාඛාව සහිත රන් කටාහය වලාකුළු අතරට පැණ නැඟී නොපෙනී ගියේය.

සත් දිනක් ඉක්ම ගියේය. බෙරවාදනයන්, නෙක පූජෝපහාරයන් මධ්‍යයේ අතු , කොළ , ඵල සහිත බෝධින් වහන්සේ සහිත රන් කටාහය පොළොවට පැමිණියේය. ඒ අසිරියෙන් මහත් සේ පිනා ගිය අශෝක නරනිඳුන් මහාබෝධි ශාඛාව දෙවැනි වත් පිදීය දඹදිවින්.

මහා බෝධි ශාඛාව රන් කටාහයෙහි පිහිටි දින පටන් දින සතළොසක් ගෙවි ගොසිනි. ඒ බෝධි ශාඛාවෙන් අංකුරද පැණ නැඟී ඇති බැව් දකින රජ තෙමේ තෙවනුවත් දඹදිව්තලයෙන් පුද දිනි බෝ රජුන්.

ඉනික්බිතිව බෝධීන් වහන්සේ සංඝමිත්තාවන්ටද එහි පරිපාලනය විධුරින්ද නා රජුන්ටද පවරා බෝධියේ හුදුමහත් කටයුතු පිණිස යෙද වු බෝධාහාර කුල දහාටක ජනයා පිරිවරා නැව් නංවා සතියකින් බෝධීන් වහන්සේ තාමුලිප්තයට වැඩම කරවන ලද්දේය. එහිම ඉදිකළ බෝධි මණ්ඩපයෙක සතියක් මුළුල්ලේ වඩා හිඳුවා බොහෝ පුද පුජා පැවැත්විය.

බෝධීන් වහන්සේ හෙළදිව් වැඩම කරවනු පිණිස නැව් නංවනු පිණිස හිසින් ගෙන ගෙල පමණ දියෙහි බැස පැමිණි රජ තෙමේ දෙවන පියතිස් අමාත්‍යය අරිට්ඨයන් හට මෙසේ කීය.

” දරුව, මම මේ උත්තම බෝධීන් වහන්සේ සකල දඹදිව්තලයෙන් තෙවරෙක්ම පුදා, ගෙලක් පමණ දියෙහි හිසෙන් ඔසවා ගෙනවුත් මාගේ සුමිතුරාට එවනු ලැබුයෙමි. හෙතෙමේද මේ අයුරටම බෝධීන් වහන්සේ පුදාවා!”

මෙයම ලියා හෙළදිවෙට හසුන්දී තෙමේ ආපසු ගොස් වෙරළට වී බෝධි ශාඛාව නොපෙනී යන තුරුම කඳුළු පිරි නෙතින් යුතුවම බලා හුන්නේය.

දක්ෂිණ බෝධි ශාඛාව පිරිවැරූවන් සහිත වු නෞකාව මහා සාගරයට වන් කල්හි යොදුනක් තැනෙහි දිය රළ නොනැඟ සංසිඳුණේ වීය. හෙල්මැලියෙන් , අරවින්දයෙන් හාත්පස වැසී ගියේ වීය. දෙවියෝ පංචතූර්ය නාද නඟන්නේ . නොයෙක් පුජාවන්ගෙන් බෝධි ශාඛාව පිදුහ.

සාගර පත්ලවාසී නාගයෝ නොයෙක් උපක්‍රමයෙන් බෝධි ශාඛාව තමන් සන්තක කරගන්නට තැනුහ. මහා බල ඇති සංඝමිත්තා රහත් මෙහෙණි තොමෝ සෘද්ධිමත් වුයේ , ගුරුලු වෙසක් ගෙන ඒ නාගයන් මැඬලුහ. බල සිඳී ගත් නාගයෝ රහත් තෙරණින් වහන්සේට අයැද මහා බෝධිය නාග භවනයට ගෙන ගියෝය. සත්දිනක් මුළුල්ලේ නාග රාජ්‍යයෙන්ද නෙක පුජායෙන්ද පුදනු ලැබුවෝ යළි බෝධි ශාඛාව නෞකාව කරා වැඩම කෙරුවහ.

දඹකොළ පටුනෙහි පටන් අනුරපුර අගනුවර දක්වා මඟ විසිතුරුව සැරසිලි කෙරවු දෙවන පියතිස්ස රජ තෙමේ උඳුවප් මස පළමු දිනයේ පටන් බෝධි ශාඛාවද භික්ෂුණී සංඝයාද හෙළදිව් සැපත් වනතුරුම මඟ බලා හුන්නේය. ඒ උත්තම නෞකාවෝ හෙළදිව් වෙරළ සමීපයට පැමිණි කල්හි පෙර දිනෙක දම්සෝ නිරිඳු ගෙල තෙක් දියෙහි බැස බෝධි ශාඛාව වැඩම කරවුයේ යම් අයුරකින් ද ඒ අයුරින්ම ගෙල තෙක් දියෙහි බැස මහා බෝධිය සිරසින් ගෙන වෙරළට වැඩම කරවුයේය.

එහිම මනහර මණ්ඩපයක් තනා බෝධීන් වහන්සේ වඩා හිඳුවා හෙළදිව් රාජ්‍යයෙන් පිදිය. තෙමේම එහි දොරටුපාල ලෙස වෙසෙන්නේ තෙදිනක් මුළුල්ලේ මහා බෝධිය රක්ෂා කළේය. නා නා විධ පුජාවන් කෙරෙමින්, සුදු වැලිද නා නා විධ පුෂ්පයන්ද අතුල, ඔසවන ලද්ද්‍ර වු ධජ පතාකාදියෙන් සරසන ලද මඟෙහි දිවා රැය ගමන් කොට උඳුවප් මස තුදුස්වක දිනයේ මහා බෝධි ශාඛාව සහ සපිරිවර උත්තර ද්වාරයෙන් අනුරාධපුර නගරයට එළඹුණහ.


ඉනික්බිතිව රජ තෙමේ දක්ෂිණ ද්වාරයෙන් නික්මුණේ, මේ මහා භද්‍ර කල්පයෙහි දී සතර සම්බුදුරජාණන් වහන්සේලා විසින් සමවත් සුවයෙන් වැඩ හිඳිමින් සේවනය කළා වු මහමෙව්නාව උයනට ප්‍රවිෂ්ට වුයේය. පුර්වයේ තුන් බුදුවරයන් වහන්සේලා සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කළ මොහොතේ සෙවණ සලසාලු බෝධි වෘක්ෂයන්ගේ දක්ෂිණ ශාඛාවන් රෝපණය කළ බිම ම ගොයුම් ගොත් සම්බුදුරජුන් සේවනය කළ බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛා වහන්සේව රෝපණය කිරීම පිණිස මනාව සකසා තිබුණේ වීය.

ඒ මනෝරම්‍ය වු භූමි භාගයේදී ඒ භගවත් අරහත් මුනින්ද්‍රයාණන් වහන්සේ විසින් සෙව්නා ලද ඇසතු බෝධියෙ දක්ෂිණ ශාඛා වහන්සේ මෙතැන්හි රෝපණය කරන්නෙමයි රජ තෙමේ බෝධි ශාඛාව අතින් මුදාහල ක්ෂණයෙහි මහා බෝධි තොමෝ අහසට පැන නැඟි සවණක් රැස් විහිදුවාලූ සේක්මයි…හෙළදිව් එකලු කළ ඒ ෂඩ්වර්ණ බුද්ධ රශ්මියෝ බඹ ලොව දක්වා පැතිරග් ගිය සේක්මයි… පෙළහර දැක පැහැදුණු සිත් ඇත්තෝ දස දහසෙක් විදසුන් වඩා උතුම් ක්ෂීණාශ්‍රවභාවය සාක්ෂාත් කළ සේක්මයි…

සුර්-යයා අවරදිගින් බැස යන මොහොතේ මහා බෝධි තොමෝ පෘථිවියෙහි පිහිටියේය. පොළොව සැලි කම්පා විණ. මහාමේඝය පොළෝ තෙත් කරමින් ඇද හැළුණේ විණ. ශ්වේත වර්ණ වලාවන් හාත්පසින් එක්ව මහා බෝධිය වසා ගත්තේ විය.

සත්දිනෙක් ගෙවුණු කල්හි හිමවන් වලාවන්ද මහාමේඝයන්ද පහව ගොස් සවණක් රැසින් ලෙලුම් දුන් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පෙනී ගියේය. දෙව් මිනිසුන් සාදුකාර නගමින් ඇසිපිය නොහෙළා බලාගත්වන ම සිටිය දී මහා බෝධියේ පුර්-ව දිග ශාඛාවෙන් ගිලිහීගත් විළිකුන් බෝ ඵලය සුරතින් ගත් මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ එය රෝපණය කරන්න යයි රජු අතට පත් කළ සේක. රජ තෙමේ සුගන්ධවත් පස් පුරවාලූ රන් කටාහයෙක එය රෝපණය කරන ලද්දේ එකෙණෙහි එයින් අංකුර අටෙක් පැන නැඟුණ ඒ බෝධි අංකුරයෝ සතර රියන්ව නැඟුණේ විණ. එබැව් දුටු නරනිඳුන් මහා බෝධිය සේසතින් පිදුයේ සකල හෙළදිවෙන් යළිදු අභිෂේක කළේය.

ඒ අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේලා දඹකොළ පටුනෙහිද තිවන්ක ග්‍රාමයෙහි , ථුපාරාමයෙහි , ඉසුරුමුනියෙහි , පළමු සෑ මළුවෙහි , සෑගිරි අරමෙහි , කතරගමෙහි හා සඳුන්ගමෙහි රෝපණය කරන ලද්දේ විය. අනෙක් බෝධි ශාඛා හතරෙන් පැන නැඟි ඵලයන්ගෙන් ජනිතවු දෙතිසක් වු බෝධි අංකුරයෝ හෙළදිව් හාත්පස යොදුනෙන් යොදුන රෝපණය කෙරිණ.

එකල්හිම පිරිවර සහිත වු අනුලාවෝ සංඝමිත්තා රහත් මෙහෙණි තොමෝ අතින් පැවිද්ද ලබා අරහත් ධජය දැරූවෝ, සකල ක්ලේෂයන් නසා සසර ඕඝයෙන් නිදහස් ව ගියෝ, හෙළදිව්හි කුලකතුනට සිළුමිණක්ව අරහත්වය සාක්ෂාත් කළෝය. හත්ථාළ්හක මෙහෙණි අසපුවේ වැඩ වාසය කරමින් ඒ භික්ෂුණී සංඝයාද ගොයුම් ගොත් බුදු සසුන හෙළදිව්හි බැබැළවු සේක්මයි…

මෙවන් උඳුවප් පොහෝ දිනෙක මෙහි වැඩම කොට, තපෝ ගුණයෙන් හෙළදිව් මනකල් කළෑ ඒ සංඝමිත්තා මහා රහත් මෙහෙණින් වහන්සේටද හෙළදිව් මිණි කිරුළවැ මහා මෙව්නාවේ උඩ මළුවේ වැඩ වෙසෙනා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද අපගේ ශීර්ෂ නමස්කාරයම වේවා!

‘


Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය

More Dhamma Articles

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1

මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම … [Read More...]

චේතනාව, කාලය හා සතර අපායෙන් මිදීමේ ක්‍රමය

පින්වතුනි ධර්මය කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. අපිට ධර්මය අහන්න ලැබෙන එක මහා වාසනාවක්. නමුත් ධර්මය කියන … [Read More...]

සසර දාහයට මෙත් සිසිල

සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි? සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම … [Read More...]

බුද්ධ වන්දනාව හා නිවන් මඟ

සාධුකාරය කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ ( සාධු යනු සා + උද්ධ … [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap